“ඉතින් කියන්න පුංචි. මට ඇහෙනවා.”
“දුව සතුටින් ඉන්නවා නේද?”
“ඔව් පුංචි. ගොඩා ..... ක්.”
“විසල් .... විසල් දුවත් එක්ක තාමත් කථා කරනවද?”
“අපොයි ඔව්. අපි හොඳ යාළුවො. එයා මට ෆෝන් එකෙනුත් කථා කරනවා. අපෝ එයාට නම් වෙලාවක් කලාවක් නැහැ. මහ රෑටත් කථා කරනවා.”
“ඒ කියන්නෙ එයා මේඝාට කැමතිද?” පුංචි ඇසුවාය. ඇගේ ඒ පැනයෙන් මම නිරුත්තර වීමි. ඇසට නැඟුණු කඳුළු වහාම පිසදා ගතිමි.
“කැමතියි; ආදරේ නැහැ! ඒත් මං අහක බලන්නෙ කොහොමද පුංචි. එයා මගෙ යාළුවනෙ. කවදාහරි එයා දැනගත්තොත් මගෙ හිතේ තියෙන හැඟීම .... සමහර විට එයා අසරණවේවි. යාළුකමකට වඩා දුර හැඟීමක් එයාගෙ හිතේ මං ගැන නෑ පුංචි. එච්චරම ශක්තිමත් බැඳීමක් නොතිබුණත් ඇස්වලින් කථා කරන, දකිද්දි හිනාවෙන ඒ පිවිතුරු යාළුකමට මම හරි ආසයි.මේ මගේ හැබෑ ජීවිතේ. ජීවිතේ ... හීන වලට වඩා වෙනස් බව දැනෙන්නෙ දැනුයි. මම විසල්ව අමතක කරනවා. තවමත් පුළුවන්
නිසා. ආදරයකට පස්සෙ යාළුකම ඇතිවුණත් මගේ හිත ඇතුලෙ ............. නොලැබෙන ආදරයකට වඩා සදාකාලික මිතුදමකට මම ලෙන්ගතුයි.”
“ඔහොම කියන්න එපා මේඝා.” පුංචිගේ ස්වරය බිඳී ගොස් ඇත. ඇය හඬනා බව මට දැනුණි. පව් ..... එයත් දුකෙන් මං නිසා!
“අඬනවද පුංචි? අඩන්න එපා. මම සතුටින්.”
“මේඝා .....”
“ඇත්තටම මම සතුටින්. කොහොමටත් විසල් අවකාශයේ තනි මේඝාවක් කියෙන්නෙ පුංචි තිතක් විතරමයි! දැන් මම හැමදාමත් පන්සිල් ගනිද්දි ඉල්ලන්නෙ මේ ලෝකෙම තියෙන හැම සතුටක්ම විසල්ට ලැබෙන්න කියලා. එයාට හැමදාමත් සතුටම විතරක් ලැබේවා කියලා ..... දුකක් නොලැබී!”
“හැමදේම එයා වෙනුවෙන්ද? එතකොට ඔයා වෙනුවෙන් මොනවද රත්තරනෙ ඉල්ලන්නෙ?”
“එයාගෙ සතුට මතයි දැන් මගෙ සතුට රැඳිලා තියෙන්නෙ. මං වෙනුවෙන් ප්‍රර්ථනා කරන්න තියෙන්නෙ මට එයාව අමතක කරගන්න ශක්තිය ලැබෙන්න කියලා ...... ඔව් - එච්චරමයි.” මම දුරකථනය විසන්ධි කළෙමි.