“ලියපු පළවෙනි
පොතෙන්ම මේ වගේ ප්‍රසිද්ධියක් ලැබෙයි
කියලා බලාපොරොත්තු වුණාද?”
“ඕනම දෙයක් අරමුණු කරගෙන
බලාපොරොත්තු ගොඩ නඟා ගත්තහැකි. ඒත් ..... මගේ ලේඛක ජීවිතය
පටන්ගත්තෙ ප්‍රසිද්ධිය අරමුණු කරගෙන නෙමෙයි. ආත්ම තෘප්තිය
උදෙසා විතරමයි.”
“එතකොට මේඝා ජයසුන්දර කියන ලේඛිකාවට ප්‍රසිද්ධිය අවශ්‍ය නැහැ
කියලද ඔබ කියන්නෙ?”
“අකුරු එකතු
කරලා වචන ගලපලා මම කතාවක් නිර්මාණය කරනවා තමයි. ඒ මොහොතෙ මම
හිතන්නෙ නිර්මාණය ගැන විතරයි. පාඨකයින්ට තමන්ගෙ කැමැත්ත පරිදි ඒ ගැන අදහස් දක්වන්න
අවස්ථාව තියනවා. කෙනෙක් කැමති දේකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ඒ ඉතින් එක
එක්කෙනාගෙ කැමැත්තනෙ. මට හිතෙනවා ඉතින් ප්‍රසිද්ධිය ලැබෙන්නෙ වාසනාව අනුව.”
“එතකොට මිස්. මේඝා
වාසනාවන්තද?”
“මේ කරුණ සම්බන්ධයෙන් නම් .... ඔව්!” මාධ්‍යවේදියා
සිනාසෙමින් ඇසූ පැනයට මමද සිනාසෙමින් පිළිතුරු දුන්නෙමි.
“ඔබ ලියපු ගොඩක් පොත් වලට ආදරය පාදක වෙලා තියෙනවා. මේ පොත් අතරෙ ඔබේ ආදර කථාව එහෙම නැද්ද?”
මම රූපවාහිනිය නිවා දැමුවෙමි. එහි විකාශනය වෙමින් පැවතුණේ මගේ තවත් අළුත් කථා පොතක් එළිදැක්වීම පිළිබඳව වූ වැඩසටහනකි. මෙවැනි වැඩසටහන් වලට සහභාගී වන සෑම නිමේෂයකම සියුම් ආඩම්බරයකින් මගේ සිත පිරී ඉතිරී ගියත් එවන් සාකච්ඡා වලදී ‘ආදරය’ ගැන පිළිවිසින විට මිනිය නොහැකි වේදනාවකින් හදවත තෙරපී යයි. එවන් මොහොතක වෙනදා මෙන්ම අදත් මා සිදු කළේ සිනාසීම බව සිහියට නැඟෙන විට පවා මට දැනුදු සිනහ පහළ වේ. අතිතය වෙත දිවයන සිත නවතා ගනු වස් මම සැමදාම පාහේ සිදු කලාක් මෙන් පුවත්පතක් කියවීමට සැරසුණෙමි. නමුත් සිත නම් ..........
දුරකථනය නාද වූ විට මගේ සිතුවිලි
දැහැන බිඳී ගියේය.
“හෙලෝ .....”
“ඉතින් මැඩම්, උඹට දැන් අපිව
අමතකයි නේද? ”රිසිවරයේ එහා
පසින් ඇසුණු කටහඬ ඇසී මම තිගැස්සී සිටියෙමි. ඇසට කඳුලක් ද නැඟුණේ නිරායාසයෙනි.
සෑම විටම මා හා ගමන් ගත්, සතුටේදී මෙන්ම කඳුළේදී මා හා සිටි මගේ මිතුරිය ඇයයි.
“මොකද මේඝා කතා
නැත්තේ? මම මේ සඳුනි කතා කරන්නෙ.”
“දන්නවා සඳු. ඔයාව අමතක
වෙනවද මට.”
“අපොයි දෙවියනේ
...... කොච්චර අමාරුද ඔයාව අල්ලගන්න.”
“එහෙම තමයි
කාර්යබහුල මිනිස්සු වුණහම.”
“ඉස්සර තරම්
දැන් කාර්යබහුල නැතුව ඇතිනෙ!”
“මොකද නැත්තෙ!”