“මම දන්නවා ඔයාට මාව ප්‍රතික්ෂේප කරන්න තරම් ශක්තියක් නොතිබුණ බව. ඔයා එහෙම කලත්
ඒක පිළිගන්න තරම් සාධාරණ හේතුවක් බවට ඔයාලගෙ ගෙදර අය නොහිතාවි
කියලා මට හිතුණා. ඒ නිසයි මම ඔයාලගෙ ගෙදර අයට කිව්වෙ ..... මේක වෙන්නෙ නැහැ කියලා.” ඇය යාන්තමට
සිනාසෙමින් පැවසුවාය.
“එහෙනම් ඔයයි? ඒත් ඇයි?”
“ඔයා මට පොඩ්ඩක්වත් ආදරේ කළේ නැහැනෙ විකුම්.”
“ඒ වුණාට ඔයා මට ආදරේ
කරන්න පටන්
අරගෙනයි තිබ්බෙ, නේද? ඒ බව මං
තේරුම් ගද්දි පමා වැඩියි. මං ඔයාට සුදුසු නෑ කියලා ඔයා කිව්වෙ මොන හේතුවක් පදනම් කරගෙනද?”
“ඔයා මට නුසුදුසු නැහැ විකුම්. ඒත් මං ඔයාට
සුදුසු නෑ.”
“ඇයි ....... අපේ අම්මා ඔයාට ගොඩක් කැමැත්තෙන් හිටියෙ, මට හිතාගන්න
බැහැ ...........”
“ඔව් ඔයාට හැමදේම තියෙනවනෙ විකුම්. ඉතින් ඔයාලගෙ
පවුලට සම්බන්ධ වෙන කෙනා හොඳ කෙනෙක් නම් දුප්පත් වුනත් එයාව පිළිගනීවි. ඒත් ඒ කෙනා
සදාකාලික අසනීපකාරියක් නම් ......., මට එක වකුගඩුවකින් ජීවත් වෙන්න පුළුවන්
වුනත්, ඔයාට මට වඩා දහස් ගුණයකින් හොඳ නිරෝගී කෙල්ලෙක්ව ලබාගන්න පුළුවන්නෙ විකුම්.”
“මොනවා ....? උපතින්මද?”
“නැහැ ..... ඔයාගෙ මංගල යෝජනාව මුලින්ම එද්දිත් මං නිරෝගීව හිටියා. කොහොමත් මේ යෝජනාව නොකෙරෙන එකක් නිසා මං ඔයාට කිව්වෙ නෑ.”
“ඒත් ඇයි ඔයා වගේ කෙනෙකුට ........ මොකද වුණේ ?”
“එදා ඔයා ඉස්පිරිතාලෙට මාව බලන්න ආවත් මට මොකද වුණේ කියලවත් ඇහුවෙ නෑනෙ
විකුම් ..... මම මහන්සි වෙලා වැඩිකමට මට අමාරු වුණා. ඒ වෙද්දි මං
වකුගඩුව දන් දීලා දවස් 2 යි. එදා තමයි අපේ අම්මලත් දැනගත්තෙ මං එහෙම දෙයක් කළා කියලා.”
ඇගේ වදන් සුළගේ පාවී ගියේය. විකුම් ඒවා
නැවත නැවතත් මෙනෙහි කළේය. ඒවා විශ්වාස කරන්නට අපහසු බැවිනි.
“මම යන්නද? අපේ අම්මා පාරෙන් එහා පැත්තෙ කඩේ ළඟ මං එනකම් බලාගෙන ඇති.”
“ටි .... ටිකක් ඉන්න මායා.”
“ඇයි?”
“ඔයා අහන්නෙ නැද්ද මට මොකද වුණේ කියලා.”
“ඒ ගැන දැන් කතා කරලා වැඩක් තියෙනවද?”
“නෑ ..... ඒත් මං මගේ හිත සැහැල්ලු කරගන්න කැමතියි මේ දේවල් ඔයාට කියලා.මම එදා සිද්ධියෙන් පස්සෙ ඒන්ජල්ව හම්බවෙන්න ගියේ
නැහැ මායා. ඔයාට
අභියෝග කරලා ආවට මට එහෙම කරන්න හිතුණෙ නැහැ. මගෙ හිතේ තිබුණෙ ලොකු බරක්. මොකක්දෝ විස්තර කරගන්න බැරි හැඟීමක් මගෙ හිත තද කළා. ඒත් එයාව නොදැක ඉන්න එක ලේසි වුණේ නෑ. ........