අද
ඒන්ජල් එන්න වෙනදට වඩා පැය දෙකක් පරක්කු වුණා. මම හිතුවෙ අද නොඑයි කියලා.”
“මොකක්ද මචං ..... උඹේ ආදරය හැමදාම කහ ඉර
ගාව විතරද? හැමදාම හොරෙන් බල බල ඉදලා හරි යනවද? කවද්ද ඒ කෙල්ල
එක්ක කතා කරන්නෙ?” කල්ප සිනාසෙමින් සිය මිතුරාගෙන් ඇසුවේ තවත්
කැරම් ඉත්තෙකු වල තුලට දමමිනි.
“උඹ හිතුවද මිත්‍රයා උඹලට විතරයි හරියන්නෙ කියලා? අපිටත් දවසක
හඳ පායයි. මම අද
ඒන්ජල්ගෙ පස්සෙන්ම ගියා. එයා ගියෙ ‘ මෙත්සුවය’ හොස්පිට්ල්
එකට. මම හිතන්නෙ එයා එතන වැඩ කරන ඩොක්ට(ර්) කෙනෙක් වෙන්න
ඇති.”
“ෂුවර්ද ...... අයියෝ ..... වල ළඟටම ඇවිත්
නැවතුණා. උඹේ වාරේ.”
“සීයට 80 ක්ම
ෂුවර්”
“ඉතුරු 20%?”
“බලමුකො. ඒන්ජල් මොනව කළත් දැන් ඉතින් මම බඳින්නෙ එයාවම තමයි.”
“උඹට අද බෑ ඔය ඉත්තා වලට දාගන්න. කෝ දීපන්
ඩිස්ක් එක මගෙ අතට. ආ ...... ඒක නෙමෙයි අර කතා කළ යෝජනාවට කැමති නැහැ
කියලා අම්මලට කිව්වද?”
“තවම නෑ. මම ඊයෙත් ගියා මායා උගන්නන ඉස්කෝලෙට.”
“ඒ මොන කෙහෙල්මලටද?”
“නිකම්. ඒකිව බලලා එන්න. එයා හොද
යාළුවෙක්.”
“එකට කමක් නෑ. දැන්ම ඕක කෙරෙන්නෙ නෑ
කියලා ඉවරයක් කරලා දාපන්.”
“එයා හරිම අහිංසක, හොද, චාම් කෙල්ලෙක්. ඒ වගේ කෙනෙක්
එක්ක ජීවිතේ බෙදාගත්තොත් ජීවත් වෙනවා කියලා දැනෙයි. එයා යථාර්තයේ
ජීවත්වෙන අමුතු අදහස් තියෙන කෙල්ලෙක්.”
“බම්බුව තමයි. එක වචනයක්වත් කතා නොකර
උඹ කොහොමද ඒන්ජල්ගෙ ගතිගුණ ගැන කියන්නෙ?”
“මම කිව්වෙ මායා ගැන.”
“ආ .... මම හිතුවෙ අපි මෙච්චර වෙලා කතා කළේ ඒන්ජල්
ගැන කියලා!” කල්ප පැවසුවේය. විකුම්ගේ හදවත
මෙන්ම දෑතද සලිත විය. ඉලක්කය වැරදී ගියේය.
“පුතා ......” ඔහුගේ මව කාමරයට එබී බැලුවාය.
“ඇයි අම්මා හදිස්සියෙන් වගේ?”
“මායා දුවට අසනීප වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලා.”
“මොනවා. මොන හොස්පිට්ල් එකේද?”
‘මෙත්සුවයෙ”
“යමු කල්ප. ඉක්මණට වරෙන්.”
“මචං .... මට පේනනෙ නම් උඹේ දෛවය මෙත් සුවයෙම කැරකෙනවද කොහෙද!”