ඇය විඩාබරව
සිටියාය. ඇගේ දෑස් තුළ වේදනාව
නළියමින් තිබිණ. සේලයින් බට ඇගේ සිනිදු අත සිදුරු කර තිබිණි. ඇගේ දෑත්
වෙව්ලීය.දෙතොල් වියළී තිබිණි. එනමුත් ඇය
සිනාසුණාය. ඒ සිනහව ඇයගේ ගිලන් වූ මුහුණට ආලෝකයක්ම විය.
“ඔයා මෙහෙ ආපු එක ගැන මට ගොඩක් සතුටුයි විකුම්. ඒත් බලන්න ආවෙ නම් මාව
නෙමෙයි.” ඇය අපහසුවෙන් පැවසුවාය.
“ඔන්‍න නංගිට ඇත්ත කතාව තේරුණා!” කල්ප
සිනාසෙමින් පැවසුවේය.
“අනේ මේ ....... පලයන් බං යන්න. විහිළු නෙවෙයි
මචං, ගිහින් මායාට කන්න පුළුවන් විදිහෙ මොනවහරි ගෙනෙන්.”
“අතරමැදියො උනහම ඔහොම තමයි. කවදාහරි ඉතින්
යන්නම වෙනවනෙ!”
මෙසේ පවසමින්
කල්ප පිටවී ගියේය.
“ඔයාගෙ යාළුවගෙ කතාව හරියටම හරි. අතරමැදියෙක්ට
කවදාහරි යන්නම වෙනවා.” තම අතැඟිලි අතර සිරකරගෙන සිටි රන් මුදුව
විකුම් වෙතට දිගු කරමින් මායා පැවසුවාය.
“මොකක්ද මේ ?”
“ඔයාගෙ අම්මා ඊයේ මාව බලන්න අපේ ගෙදර ආවා. එයාගෙ
අතින්මයි ඕක දැම්මෙ. එයාගෙ අනාගත ලේලි
ගැන එයාගෙ හිතේ තියෙන ආදරයයි, ආශිර්වාදයයි මේ මුද්දෙ තියනවා විකුම්. මේක ඔයාගෙ ඒන්ජල්ට දෙන්න.”
“එපා ඕක ඔයා තියාගන්න.” ඇගේ දුබල
දෑතින් අල්ලමින් ඔහු පැවසුවේය.
“එපා. ඔයා ගැන මට අයිතියක් නැති එකේ...... ඔයාගෙ කිසිම දෙයක් මගෙ වෙන්නෙ කොහොමද විකුම්?” ඇය ඇසුවාය. ඇගේ දෑස්
නැවතත් කදුලින් බොර විය. ඇය ඒ මුදුව ඔහුගේ දෑත් තුළ සිර කෙරුවාය.
“ඔයාට ගොඩක් අමාරුද?”
“මේ කදුළු වේදනාව
නිසා උනන ඒවා නෙමෙයි. සතුටු කදුළු. හැමදේකින්ම මම ලබන
සතුට මම නැති කරගත්ත දේවල්වල වටිනාකමට වඩා වටිනවා.”
“මට තේරෙන්නෙ නෑ ඔයා අදහස් කළ දේ.”
“ඒක අමතක කරන්න. මට කියන්න ...... ඔයාගේ ඒන්ජල්ව ඔයා ආයෙ දැක්කද?”
“ඔව් ...... සෑහෙන දියුණුවක් තියෙනවා.”
“හොදයි. ඇයි ඉතින් තවත් මේ ගැන අපි ගෙවල් වලින් හංගන්නෙ? මගෙ ගෙදර අය
හිතන්නෙ මගෙ අනාගතය සුරක්‍ෂිතයි කියලා ; ඔයා නිසා.”
“මායා මම ......”
“මට බැහැ ඔයාගෙ මනමාලි වෙන්න විකුම්, මට බැහැ.”
“මට තේරුම්ගන්න පුළුවන්. මටම වෙලාවකට
පුදුමයි ...... මට ඔයා ඉස්සරහදි මෙච්චර විවෘතව අදහස් ප්‍රකාශ
කරන්න පුළුවන් වුණත් ...... මට තවම අම්මට මගෙ හිතේ තිබුණ දේ කියාගන්න
බැරිවුණ ඒක ගැන.”