“පටන්ගන්නෙ කොහෙන්ද?”
‘හැමදේම පටන්ගත්තු තැනින් පටන්ගන්න. අද පාර මාරු
වුණ තැනින් එයා ආයෙ කවදහරි පාර මාරුවෙයි.”
“ඔයා නම් ..... ෂා ..... නියම අදහසක්නෙ. කොච්චර කල්පනා
කළත් මොකක් කරන්නද කියලා හිතාගන්නවත් බැරිව හිටියෙ.”
“ඒ ඔයා කලබල වෙලා නිසා.” ඇය පැවසුවාය.
විකුම් ඇය දෙස
බැලුවේය. ඇය දැන් පෙරට වඩා සැහැල්ලුවෙන් ඔහු හා කතා කරන්නීය. ඇගේ දෙකම්මුල්
තවදුරටත් ලැජ්ජාවෙන් රතු වී නැත, ඇසි පිය බිමට යොමු
වී නැත, දෙනෙත් චංචල නැත ..... ඒ ඔහු ඇගේ
සහකරුවා නොවන නිසාද?
“මම ඔයාට කරන දේ හරිද, මායා. ඔයා ගොඩක්
බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇති...... සමහරවිට. මට ඒක දැනෙනවා.”
‘ඒකට කමක් නෑ. මටත් උරුමක්කාරයෙක්
කවදහරි කොහේදි හරි මුණ ගැහේවිනෙ. එහෙනම් ඉතින් අපි සමුගනිමු විකුම් ...... මම ඔයාට සුභ පතනවා.”
“මං වෙනුවෙන් තව එක දෙයක් කරන්න පුළුවන්ද?”
“පුළුවන් දෙයක් නම් කරන්නම් .....”
“මේ යෝජනාව ගැන දැන්ම අපේ ගෙදරට උත්තර යවන්න එපා. මමත් දැන්ම
අපේ ගෙදරට මේක නොකෙරෙන බව කියන්නෙ නෑ. මම ඔයාගෙ කාලයෙන්
වැඩිය ගන්නෙ නෑ. මායා; මට සති දෙකක් කල් දෙන්න. මේක කෙරෙන්නෙ
නෑ කියලා දැනගත්තොත් මට තව යෝජනා ගෙනෙයි. එහෙම කරන්න එපා කියලා
අපේ ගෙදරට කියන්න මට දැන්ම බැහැ. ඒ මට ඒක කියාගන්න ශක්තියක් නැතිව නෙමෙයි ..... ඒත් මට මගෙ
අම්මගෙ හිත කඩන්න බයයි.”
“ඔයාලගෙ ගෙදරින් යෝජනාව ආපු දවසෙ ඉදන් මගෙ මුළු පවුලෙම අය ඉන්නෙ සතුටින්. මටත් අදම
එයාලගෙ හිත කඩලා දාන්න අමාරුයි. ඒත් මට බොරු කියන්න බැහැ. ඒ නිසා මට
පුළුවන් තරම් දවසක් ඔයාගෙ රහස රකින්නම් ...... පොරොන්දු වෙන්න නම්
බැහැ.”
“ඔයා මාර ළමයෙක් තමයි. සමහර විට
ඒන්ජල්ව නොදැක්කනම් මම ඔයාට කැමති වෙන්න තිබුණා.”
“ජීවිතේ හොයාගන්න විකුම්. ඒක තමයි
අමාරුම පරීක්‍ෂාව! ජීවිතේ වටිනාකම තේරුම්ගත්තු සමහර අයට ඒක විඳගන්න කාලයක්
නෑ. සමහරු ළඟ කාලය ඕන තරම් තිබ්බට ..... විඳගන්න
ජීවිතයක් නෑ. ඒ නිසා ඔයා ඔයාගෙ ජීවිතේ හොයාගන්න. මමත් අළුතින්
මගේ ජීවිතය හොයන්න පටන්ගන්නවා.”