ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

විසල් අහසේ උමතු වූ මේඝාව 3 වන කොටස

සෑම දිනකම මට අවශ්‍යව තිබුණේ දැනෙන යමක් කරන්නටය. සිනාසෙද්දී සිතට දැනෙන සේ සිනාසෙන්නට මට අවශ්‍ය විය ; හඬද්දී ඇඟිල්ලෙන් ඇසට ඇන කඳුළු ගැනීමට මට නුවුවමනා විය. සෑම විටම ඇත්ත ඇත්ත ලෙසම දකින්නට මට වුවමනා විය. මා පුවත්පත් කලාවේදිනියක වූයේ එබැවිනි. මා හට පළමු වරට පත්වීමක් ලැබුණේ ‘සවිය’ පුවත්පතෙහි නිත්‍ය සාමාජිකාවක් ලෙසටය. පත්වීම සියතට ගත්තද එහි සඳහන් වූ දිනයට එහි ප්‍රධාන කාර්යාලයට වාර්තා කිරීමට මට නොහැකි වූයේ වාසනාවත් සමඟම අවාසනාවත් ඒ තරමටම මාගේ ජීවිතය සමඟ එක හා බැඳී තිබුණ නිසාවෙන් යැයි මට දැන් හැ‍‍ඟේ. එයට හේතු වූයේ ඒ වන විට මේ  පොළව මත සිටි එකම හිතවතා, ආරක්ෂකයා, ලේ නෑයා ....... ඇත්තෙන්ම මගේ ජීවිතය හා සමව සිටි මා පියාගේ වියෝවයි. කෙතරම් දේ සිදුවූවත් මගේ පියාගේ එකම බලාපොරොත්තුව වූයේ මාගේ දියුණුවයි. නමුත් මා වෙත තිබූ එකම සවිය වූ ඒ පිය සෙනෙහස නොමැති වූ කළ ජීවිතය ගැන කුමන ආසාවක්ද? ඇත්තෙන්ම මැරෙන්නට ඇත්නම් යැයි මට සිතුණි. නමුත් ජීවිතය ඉදිරියට යා යුතු නොවේද?
නියමිත දිනයේදී රාජකාරියට වාර්තා නොකළත් මා ප්‍රථම වරට ‘සවිය’ කාර්යාලයට පැමිණි දිනයේදී මට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. එවන් පිළිගැනීමක් මම නම් බලාපොරොත්තු නොවුණෙමි. එය එය කුඩා කාර්යාලයකි. සිටියේද කිහිප දෙනෙකු පමණි. ප්‍රථමයෙන්ම මම ප්‍රධාන කාර්යාලයට ඇතුළු වුණෙමි.
“ආ ....... එන්න එන්න මිස්. ජයසුන්දර.”
“ගුඩ් මෝ?(ර්)නිං ස(ර්).” මා එසේ පැවසූ විට ඔහු අමුතු ලෙස සිනාසුණේය. මා මුවින් නොවිමසුවද, ඒ මන්දැයි යන්න මගේ බැල්මෙහි සටහන් වී තිබෙන්නට ඇත.
“ආ .... ඔයා නොදන්නවා වුණාට මිස්. ජයසුන්දර මෙහෙ වැඩ කරන එවුන්ගෙන් මට පොඩ්ඩක්වත් ගරු සැලකිලි ලැබෙන්නෙ නැහැ. අඩුම තරමෙ උදේ පාන්දරම දැක්කහම ගුඩ් මෝ(ර්)නින් කියන සිරිතක්වත් නැහැ. දැකපු ගමන් හලෝ ලොක්කා ...... කියනවා. පුළුවන් තරම් විකාර කරන්නෙ. හැමවෙලේම ජොලියෙ ඉන්නයි කැමති. මෙයාලව මගෙ පාලනය යටතෙ තියාගන්න එක නම් හරිම අමාරුයි. ඒ වුණාට මගේ අණ නම් අකුරටම පිළිපඳිනවා. හැමෝම මට නම් ඉතින් මගේම ළමයි වගේ. මම හිතනවා ඔයාට නම් මෙහෙ සතුටින් වැඩ කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. තේරුණාද?”
“ඔව් ස(ර්)”
“ඔයාට ළඟදී පොඩි කරදරයක් වුණා නේද? දැන් කොහෙද ඔය දරුවා නැවතිලා ඉන්නෙ?”
“දැනට නම් පුංචි ළඟ. මරදානෙ.”
“මරදානෙ? දුරයි නේද?”
“යන්න එන්න නම් අමාරුයි තමයි ස(ර්). මම මෙහෙන් ළඟ පාතින් තැනක් හොයාගන්නයි හිතාගෙන ඉන්නෙ.”
“ඔයා අපේ අනිත් දරුවන්ගෙන් අහලා බලන්නකො. සමහර විට තැනක් හොයාගන්න එයාලා ඔයාට උදව් කරයි.”
“හා මම අහලා බලන්නම්.”
“හරි දැන් ඉතින් ගිහින් කට්ටියව අඳුනගෙන වැඩ පටන් ගන්නකො. ඕල්ද  බෙස්ට්!”
“තැන්ක් යූ සර්.”
“ආ ..... ටිකක් ඉන්නකො මිස්. ජයසුන්දර. තවම ඉතින් පෑනෙන් සවිමත් වුණාට මූල්‍යමය අතින් නම් එච්චරම සවිමත් නැහැ අපි. ඉතින් මුලදි සාමාන්‍ය වැටුපක් තමයි අපිට ගෙවන්න වෙන්නෙ.”
“කමක් නැහැ ස(ර්).  ගොඩක් දුරට මගේ රැකියාව මගේ විනෝදාංශයක් විදිහටයි මම සලකන්නෙ. එතකොට ගෙවෙන හැම මොහොතකම ඒ ගැන ආසාවෙන් කටයුතු කරන්න පුළුවන් වෙනවා. සාධාරණ වැටුපක් මමත් බලාපොරොත්තු වෙනවා තමයි. නමුත් වැටුප බලාගෙනම රැකියාව කරන්නෙ නැහැ.”
“මාධ්‍යවේදී අදහස් නම් හොඳයි දරුවො. ඒත් ඉතින් ඔයා බලාපොරොත්තු වෙන මාර්ගය මෙතනදි නොලැබුණොත්?”
“පත්තර වාර්තාකාරිනියක් විදිහට මේ  පෑන මං අතට ගත්තෙ  ගොඩක්ම බලාපොරොත්තු වෙන දේවල් වලට වඩා බලාපොරොත්තු නොවන අනපේක්ෂිත සිද්ධීන් වලට මුහුණ දෙන්න තමයි. ජීවිතේදී හුඟක් වෙනස්කම් වලට මුහුණ දෙන්න වෙනවා. හැමදේම අපේ ප්ලෑන්ස් අනුවම සිද්ධ වුණොත් එතන කිසිම අභියෝගයක් නැහැනෙ. ඉතින් සෑම කළු වළාවකම රිදී රේඛාවක් තියෙනවයි කියනවනේ.”
මගේ ප්‍රධානියා ඉදිරියෙහි මෙලෙස කතා කිරීමට නම් කිසිම විටෙක මම නොසිතුවෙමි. අඩුම තරමේ කාර්යාලයට ගිය ප්‍රථම දිනයේදී නම් එසේ කරන්නට නොසිතුවෙමි. ඔහු කළේ සිනාසීම පමණි. එම සිනහවේ ගැබ්ව තිබුණේ හාස්‍යයක් නොවේ ; මාගේ අදහස් පිළිගත් බවකි.
නැවත වරක් මට සුභ පැතූ ‘සවිය’ පුවත්පතේ කතෘ දයානන්ද අලහකෝන් මහතා කාර්යාලයේ පියුං රාජකාරිය ඉටු කළ සිරිපාලට කථා කර මගේ සමාගමය වෙත මා ගෙන යන මෙන් පැවසුවේය. මුල් මොහොතේ මෙහි පය තබද්දී යන්තම් හෝ තිගැස්මක් සිතේ ඇති වූවේ නම් දැන් නම් මෙය මගේම තැනක් සේ හැඟේ. සිරිපාල මා කැඳවාගෙන ‘ඒ සමාගමය’ වෙත ගියේ මගෙන් මා පිළිබඳව තොරතුරුද විමසමිනි.
“මෙන්න මං අපේ අළුත් නෝනව එක්කගෙන ආවා. මේ ඉන්නෙ මිස්.මේඝා. මේ මිස් ....”
“ඇති ඇති බඩා. උඹ පලයන්. නැත්නම් ඉතින් ඔය මේඝාගෙන් අහගත්තු විස්තර මෙතන ඉඳන් කියවයි පැය ගාණක්; හරියට මේඝාව ඉපදුණු දවසෙ ඉඳලම දන්නවා වගෙ” එතන සිටි එක් වාර්තාකරුවෙකු සිරිපාලට පැවසූ විට සියල්ලෝම ඒ අසා සිනාසුණහ. සිරිපාල පමණක් මුහුණ නරක් කරගෙන ඒ සමාගමයෙන් ඉවත්ව ගියේය.
“ඇයි මේඝාට සිරිපාල ගැන පව් කියලා හිතෙනවද? ඕකා  කට ඇරියොත් කථාව නවත්තන්නෙ නෑ. ඒ නිසා අතේ දුරින් තියාගන්න එක කෝකටත් හොඳයි.”
“අපෝ ...... සිරිපාලගෙ විතරක් නෙවෙයි. මිතූගෙ කටත් එහෙම තමයි. සිරිපාල විතරක් නෙවෙයි. ඔයත් දැන් මේ  ලිපි ටික අරගෙන යන්න ඕන නේද?” එතැන සිටි ලස්සනම තරුණිය ඇසුවාය.
“අපෝ මේ ගෑණු! මං මේ කෘෘර ලෝකයෙන් මිදිලා ඈතට යනවා සහෝදරී. ඔයාට කිසිම පිස්සුවක් නොහැදී මේ පිස්සොත් එක්ක වැඩ කරන්න ලැබේවායි කියලා මං පතනවා. යන්නම් හොදේ. ආ ..... මගෙ නම මිතුරුසිංහ. ආයෙ හම්බවෙමුකෝ.” මෙසේ පවසා මිතුරුසිංහ පිටවී ගියේය.
මේ මොහොතේ සඳුනි පැමිණ මගේ අතින් අල්ලා ගත්තේ බොහෝ කලක සිට මා හඳුනන අයෙකු විලසිනි. ඇය තලෙලු සමකින් යුතු, දිගු වරලසකට හිමිකම් කියනා පියකරු යුවතියකි.
“මිතූගේ කථා හැමදාමත් ඔහොම්මයි මේඝා. එයා තමයි අපේ පත්තරේ මුද්‍රණ කටයුතු කරන්න ඉන්නෙ. ප්‍රවාහන වැඩ එහෙමත් කරන්නෙ එයා තමයි. මගෙ නම සඳුනි. මේ ඉන්නෙ තරුෂි, මෙයා කෞෂි. අර අතන ඉන්නෙ විසල්. අපි කට්ටිය තමයි ඉතින් සවිය පත්තරේ සවිය.”
“මේඝාටත් අපිට එකතු වෙන්න වෙයි.” කෞෂි;  අර ලස්සන යුවතිය පැවසුවාය. මම සිනාසුණෙමි.
“හිනාවෙලා හරියන්නෙ නැහැ ඉතින්. හොඳට කතාබහ කරලා ඉන්න ඕන.” තරුෂි ද ඇගේ තරුවන් දෙනෙත් විහිදා පැවසුවාය.

ඔවුන් මට බොහෝ සමීප විය. එක් අයෙකු හැර! විසල් ...... විසල් දිවිසේකර. ඔහු මා දෙස බැලුවේවත් නැත. මටත් එහි කිසිඳු විශේෂත්වයක් නොහැඟුණි. නමුත් ...... එදා එසේ වුවත් ඉන්පසු ඔහු මගේ ජීවිතයට එබී බැලූ තරම්! තනි මේඝයක්ව ඒ විසල් අවකාශයේ මා තනි වූ තරම්!

Social Profiles

Twitter Facebook Google Plus LinkedIn RSS Feed Email Pinterest

කතුවැකිය

E-“ක්ෂිතිජය” - ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

වෙහෙස වන හැල්මේ දුවන ජීවිත ගමනේ විඩාව මදකට හෝ දුරුකර ගනු වස් වරෙක මනෝ මන්දිර තුල සැරිසැරූ මොහොතක මාගේ සිත තුල ඉපදුන චරිත වලට ජීවය පෙවීමට ගත් පුංචි උත්සාහයක ප්‍රතිපලයක් ලෙස “E-“ක්ෂිතිජය” ඔබ ඉදිරියට ගෙන එමි. කියවා බලා ගුණදොස් පිළිවිසින්නට පාඨක ඔබ සැමට ආරාධනා !

- ඉෂාරා -

Copyright © E "ක්ෂිතිජය" | Powered by Blogger
Design by Lizard Themes - Published By Gooyaabi Templates | Blogger Theme by Lasantha - PremiumBloggerTemplates.com

google.com, pub-2907226750246742, DIRECT, f08c47fec0942fa0