“මොකද මේඝා පරක්කු වුණේ? වැඩ ගොඩක් ඉවර කරගන්න තියෙනවයි කියලා කිව්වනම් මාත් ඔයා එක්ක ඉන්නවනෙ.”
“වැඩ නම් වේලාසනින් ඉවර වුණා සඳු. ඒත් මම ලයිබ්රි එකට ගියා.”
“මෙන්න තේ එක. රහද බලන්නෙකෝ.” කෞෂි තේ කෝප්පය මට පිළිගැන්වූවාය.
“තැන්ක් යූ වෙරි මච්. අපෝ ඔය තුන්දෙනා එක්කම එකම බෝඩිමේ ඉන්න ලැබුණ එක හොඳට ගියා.”
“මේඝා ...... අද ඔයා ගොඩක් සතුටින් වගේ. මොකක්ද කාරණය?”
“එහෙම දෙයක් නෑ තරූ. ඇයි මට සතුටින් ඉන්න නරකද?”
“කවුද දැන් එහෙම දෙයක් කිව්වෙ?”
“ආ ..... අර ආර්ටිකල් එකට විස්තර හොයන්න විසලුත් ලයිබ්රියට ඇවිත් හිටියා.” මම ඇඟට පතට නොදැනී පැවසුවෙමි.
“ඒකයි මේ! අද විසල් එහෙ යන බව දැන දැනම උඹත් ගියානෙ?”
“අනේ නෑ සඳු. ඒත් මට නිකමට වගේ හිතුණා.”
“මේඝා .... හිත රවට්ටගන්නෙපා. මං හැමදාමත් ඔයාගෙ පැත්තටනෙ කථා කලේ. ඒත් මට දැන් හිතෙනවා ඔයා ඕනවට වඩා මේ ගැන හිතනවයි කියලා.” කෞෂි පැවසුවේ මා කෙරෙහි දැඩි අනුකම්පාවකින් බව මම දනිමි.
“ඔයාලා හිතනවා වගේ එයා නරක නැහැ.”
“විසල් නරකයි කියලා අපි කිව්වෙ නැහැ. එයා දැන් ඇත්තටම ඉස්සර වගේ නෙමෙයි තමයි. අපිත් එක්ක දැන් හොඳට කතා කරනවා. ඕනවටත් වඩා ...... ඒත් අපි කියන්නෙ ඒ දේ ගැන නෙමෙයි මේඝා. එයා හැමවෙලේම හිනාවෙලා ඉන්න කැමති කෙනෙක්. ලස්සනට ආර්ටිකල්ස් නම් ලියනවා තමයි. ඒත් ජීවිතේ ගැඹුරින් දකින්නෙ නැහැ. අපි ඒ ගැන කියන්න ඕන නැහැනෙ මේඝා. ඔයාටම තේරෙනවනෙ ඒ බව. එයාට ඕන හැමවෙලේම ජොලි කරලා ඉන්න.”
“දන්නවා. මට එයාගෙන් ඈත් වෙන්න ඕන වුණත් ඒක කරන්න එයා ඉඩ දෙන්නෙ නෑ.”
“අපි පිළිගන්නවා. එයා ඔයාව හොඳම යාළුවෙක් විදිහට හිතන බව. එයාගෙ කටින්ම ඒක කියලත් තියෙනවනෙ.”
“එයා එහෙම කියලා තියෙනවද තරූ. ඒත් ඇයි ඔයාලා මට කලින් නොකිව්වෙ?”
“ඔන්න ඔය හේතුව නිසා. බොරු බලාපොරොත්තු තියාගන්න නිසා.” කෞෂි පැවසුවාය.
“හරි. මෙහෙම හිතන්නකෝ. මම මගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක රණ්ඩු වුණහම ඔයා කොච්චර නම් උපදෙස් දෙනවද? ඔයා කියන්නෙ මේ දෛවය චේන් එක එකවරකට බැඳිලා තියෙන්නෙ එක තැනකට විතරයි. ඒ නිසා එක වරකට අපිට හිතන්න පුළුවන් එක දෙයක් ගැනයි. වැහිලා ගිය දොරවල් දිහෑ බලාගෙන ඉන්න කොට සමහර විට ඉස්සරහින් ඇරෙන දොරවල් අපිට මඟ ඇරේවි ; ඒ නිසා හැම සිදුවීමක් ගැනම නම්‍යශීලීව බලන්න කියලා. ඇයි ඔයාට මේ දේ ගැන ඒ විදිහට බලන්න බැරි. මේ දේවල් වැඩිය හිතට ගන්න එපා.”තරුෂි පැවසුවාය.
“ඔව්. ඔයා ඔය ගැන හිතන්න ඕන නැහැ. වෙන දෙයක් ඒ විදිහට සිද්ධ වෙයි.”
“ඔයා හරි සඳු. ඒත් එයා දිහෑ බලන එක නවත්තගන්න අමාරුයි. හිතන එකත් එහෙම්මයි. ඒත් ඉස්සර තරම් මං ඒ ගැන හිතන්නෙ නැහැ. අපි නොගැළපෙනවා නම් .... මාස කිහිපයක් ඇතුළත හිතට දැනුන දෙයක් නිසා මුළු ජීවිතේම අඬන්න මට බැහැ. ආදරය විඳවන්න නෙමෙයි විඳින්නයි ඕන. මෙහෙම ප්‍රශ්නෙකදි මම අනිත් අයට දෙන උපදෙස් මටම දීගන්න ඕන නේද? ඒ විතරක් නෙමෙයි ඒක මම පිළිගන්නත් ඕන නේද?” සිනාසෙමින් මා පැවසුවේ කඳුලින් දෑස් තෙත්වන අතරතුරදීය.
“මේඝා ඔයා හිතුවක්කාරයි. ඒත් අපි කියන දේ නාහා හිත රිද්දගන්න එපා.”
---------------------------------------------------------------------
හදවතින්ම ඇතිවන බැඳීම් කවදාවත්ම කැඩෙන්නෙ නැහැ කියලා හිතුවා. එහෙම එදා හිතුවට මගෙ හිත නොකැඩෙන්න නම් ඒ බැඳීම් කඩලා දාන එක හොඳයි. මමම ඇති කරගත්ත නිසා මම ම නැති කර ගත යුතුයි.
පන්සලට ගිහින් බුදු සාදුගෙ පියවෙච්චි ඇස් දිහෑ බලාගෙන මම පැතුවෙ එහෙමයි. හැමදේම මට අමතක කරගන්න පුළුවන් වෙන්න කියලයි ප්‍රර්ථනා කළේ. මොකද මේඝාට වෙලා තියෙන්නෙ? මේඝා මෙච්චර බොළඳ වුණේ කොහොමද?