“හරි හරි යාළුවා, දැන් කියවිල්ල නවත්තලා දාපන් ..... යමු”
“මට මීට කලින් මෙහෙම දැනිලා නෑ කල්ප”
“උඹට විකාරද විකුම්, මේ එක දවසක් ....... එක තත්පරයක් දැකපු කෙල්ලෙක් මත්තේ නැහෙන්න යන්නේ?”
“මට එයාව අමතක කරන්න බෑ. එයා හරි අහිංසකයි. අමුතු ලස්සනක් තියෙන්නෙ. සුදට සුදේ ඇඳගෙන ...... හරියට ඒන්ජල් කෙනෙක් වගේ.”
“ඒන්ජල්ව අමතක කරපන්. උඹ යන්නේ මනමාලියෙක්ව බලන්න. අද උඹ වැදගත් තීරණයක් ගන්න යන දවසක්. මනමාලිව දැකලා, කතාබහ කරලා එයා උඹේ ජීවිතේ බෙදාගන්න සුදුසු කෙනෙක්ද කියලා හිතලා බලපන්. අද අර පාරෙදි දැකපු කෙල්ලව අමතක කරපන්. සමහර විට බලන්න යන මනමාලි ඊටත් වඩා ලස්සන ඇති. උඹ ෆොටෝ එක දැක්කද?”
“හ්ම් ...... ඔය මේසේ උඩ තියෙන්නෙ.” විකුම් පැවසූ විට කල්ප මේසය වෙත ගොස් එය මත තබා තිබූ ඡායාරූපය සියතට ගත්තේය.
“ෂා..... ලස්සනයිනෙ මචං.”
“හ්ම් .....” විකුම් නොසැලකිළිමත් ලෙස පැවසුවේය.
“විකුම්, උඹ නම් අද මේ ලෝකෙ නෙමෙයි ඉන්නෙ. යන ගමනෙන් වැඩක් වෙන්නැතිවෙයි වගේ. එක්කෝ මම උඹලගෙ තාත්තට කියන්නම් මේ ගමන ගිහින් වැඩක් නොවන බව. අපි උඹේ හිත සොරාගෙන ගිය ඒ ඒන්ජල්ව සොයමු. අනික උඹ කවුද? කෝටිපති ව්‍යාපාරික විජේසුරේන්ද්‍ර මහතාගේ එකම පුත්‍රරත්නය! ඒ මදිවට උඹ හැන්සම් පොරක්නෙ. මොන කෙල්ලද, උඹට අකමැති වෙන්නෙ?”
“එහෙම කරන්න බැහැ කල්ප. මම මායාගෙ ෆොටෝ එක දැක්කා. මම බලන්න යන්න කැමතියි කිව්වට පස්සෙයි මේ ගමන ලෑස්ති කළේ. අද උදේ වෙනකම් මම මායා ගැන හිතේ කැමැත්තක් ඇති කරගන්න උත්සහ ගනිමිනුයි හිටියේ. ඒත් අර කෙල්ල දැක්කහම ....... හරි, ඒවා වැඩක් නෑ. මේ ගමන යමු. නොගියොත් ඔය කෙල්ලගෙ පවුලට කරන මදිකමක් වගේ. ඔය මිනිස්සු සාමාන්‍ය පවුලක් වුණාට හරි හොදයි. බලමු. ඒත් ඉතින් ..... මට මගෙ හිත නවත්ත ගන්න බැරි හැටි!”