ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

විසල් අහසේ උමතු වූ මේඝාව 7 වන කොටස


පුංචිගේ හඬ ඇසුණේ බොහෝ  කලකට පසුවය. මේ මිහිමත දැන් මට ඇති පිළිසරණ ඇයයි. මා හා ඇය අතර කිසිදු ලේ නෑකමක් නොවිණි. මගේ මවට සිටි හොඳම යහළුවා ඇයයි. මා මෙලොවෙහි තනිවූ දා සිට මගේ පවුල වූයේද ඇගේ ලෝකයයි. මගේ සිත සවිමත් බව මම දනිමි. ඕනෑම ප්‍රහාරයකින් වැලකී සිටීමට මගේ පෑනේ සවිය මට ප්‍රමාණවත්ය. ප්‍රශංසා, දිරි ගැන්වීම් මෙන්ම ඕනෑම  ගල්, මුල්, මඩ ප්‍රහාරද විඳ දරා ගැනීමට තරම් මම උපේක්ෂා සහගත වෙමි. එවන් දෑ ඉදිරියේ නොසැලී සිටීමට අපේක්ෂාවක් සිතේ ඇත. ඒ අපේක්ෂා ඉටුවේ යැයි විශ්වාසයක්ද ඇත. නමුත් ..... තනිවී සිටින නිමේෂයන් හිඳී ඒ අත මේ අත විසිරී ජාල ගතවන මගේම සිතිවිලි පාලනය කර ගැනීමට තරම් සවියක් මා හට නැතිවාක් මෙනි. දේශපාලඥයාගේ බොරු පොරොන්දු වලටවත්, ත්‍රස්තවාදියාගේ තුවක්කුවටවත්, කරණවෑමියාගේ දැලිපිහියටවත්, ප්‍රතිවාදියාගේ පෑනටවත් නොව මා බිය වූයේ මගේම සිතුවිලි වලටය. ඒ ජාලයෙන් මිදීමට මට සඳුනිගෙන් හෝ තරුෂිගෙන් හෝ කෞෂිගෙන් හෝ මිතුරුසිංහගෙන් හෝ පිහිට පැතිය නොහැකි සේය. ප්‍රශ්නය සහ පිළිතුර යන දෙකම විසල් වන බැවින් ඔහුගෙන් කිසිලෙසකින් සහය පැතිය නොහැක. මට අවශ්‍ය සහනයකි. මේ  විසල් පැනයට සහනයකි!

“මොකද මේඝා කතා නැත්තෙ?”

“නෑ පුංචි.”

“ඔයත් මගෙ අයියගෙ දරුවො වගේමයි. මට ඉතින් මටම කියලා ළමයි නෑනෙ. එයාලා මට පුංචි කියලා කතා කරන තාලෙන් මට එයාලව අඳුනගත්තැහැකි. දැන් ඉතින් පොඩි ළමයෙක් නොවුණට තවමත් යන්තම් අවුරුදු විසි දෙකක් වුණා විතරනෙ. ඔයාගෙ ඔය හිත අඳුනගන්නත් මට හොඳට පුළුවන්. මොකක්ද ප්‍රශ්නෙ?”

“එහෙම නෑ. මම පැවසුවත් මගේ ස්වරය බිඳී ගියේය.

“අඞන්න එපා. බලන්න ..... අද ජනවාරි පළවෙනිදා. මං මේ  ඔයාට ගත්තෙ අළුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පතන්න.”

“අළුත් අවුරුද්දක් පටන් ගනිද්දි අළුත් දේවල් ගැන හිතලා අළුතෙන් ජීවිතේ හැඩ ගස්සව ගන්න ඕන. පරණ දේවල් කිසිම දෙයක් ගැන නොහිතා. හිත රිද්දන පරණ මතකයන්  ගොඩක් අමතක කරලා අළුත් විදිහට හිතන්න තියෙනවා නම්  කොච්චර හොඳද පුංචි. ඒත් බෑනෙ. මතකයන් පරණ වුණාට හදවතට සමීපයි. අළුත් අවුරුද්දෙ කොච්චර නම් දේවල් කරන්න පටන් ගන්න ඕන කියලා හිතාගෙන හිටියත් ඒ එකක් ගැනවත් හිතන්න සුදුසු මානසිකත්වයක නම් නෙමෙයි මම දැන් ඉන්නෙ. මම ‘සවියට’ වැඩ කරන්න ගියෙ කොච්චර දේවල් ගැන හිතේ තියාගෙනද? ඒත් දැන්නම් ........................”

“ඇයි, ඔෆිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද?”

“නෑ පුංචි. මාත් එක්ක වැඩ කරන හැමදෙනාම  ගොඩක් හොඳ අය. එඩිට(ර්) අපිට සලකන්නෙ එයාගෙම ළමයි වගේ. අනිත් අයත් හරිම හොඳයි. අනුන්ගෙ ප්‍රශ්න බදාගෙන වැඩ කළත් කිසිම වෙලාවක තමන් තුළ ප්‍රශ්න ඇති කර නොගන්න කට්ටියක් එයාලා. හැමදාමත් මං සතුටින් හිටියා පුංචි. හැමදේම ගැන සුභවාදී විදිහටයි හිතුවෙ. ඒත් දැන් .....”

“හිතේ හිරකරන් ඉන්නෙ නැතිව කියන්න පුතේ.”

“ දැන් මගේ හැමදේම බැඳිලා තියෙන්නෙ ‘සවිය’ එක්කයි පුංචි. කවදාවත්ම මෙහෙට ආපු එක ගැන මම දුක් වෙන්නෙ නැහැ. ඒත් මෙහෙට ආවට පස්සෙ එක කාරණයක් නිසා මගේ ජීවිතේ වෙච්ච වෙනසට මං ආස නැහැ. අනිත් හැමදේම හොඳයි. ඒත් ඒක ....! ඒ වගේ හේතුවකට මං කවදාවත් අඬලා නැහැ. ඒත් විසල් නිසා ..... . මාව අඬවන්න හේතුවුණ එයාව මං අමතක කළ යුතුයි පුංචි. මට ..... මට දැන් තේරෙනවා. කවදාවත්ම ඉෂ්ට නොවන හීන මවාගන්න එකේ තේරුමක් නැහැ. කොහොමටත් දැන් මට ඒ ගැන හිතන්න ඕනෙත් නැහැ.”

“ඔයා විසල්ට ආදරෙයිද?”

“මුලදි මගේ තුන් හිතකවත් එහෙම අදහසක් තිබුණෙ නැහැ. ඒක කොහොම හිත හාරගෙන ආවද කියන්න මම දන්නෙ  නෑ ; ආදරය පිවිතුරු දෙයක්. ඒ ආදරයට විසල්ව ගැලපෙයිද කියන්න මම දන්නෙ නැහැ. ඒ ගැන හිතාගන්න මට තේරෙන්නෙ නෑ. එයා කවදාවත්ම මං ගැන හිතන්නෙ නැහැ ඒ විදිහට. මං ඔයාට කිව්වෙ ...... මුලදි මටත් එහෙම හිතුණෙ නෑ. හැමදේම පටන් ගත්තෙ එදා තිබ්බ උත්සවේ දවසෙ. මගෙ යාළුවො එයාට විරුද්ධව කතා කරද්දී මම හැමවෙලේම එයා වෙනුවෙන් කතා කළා. ඒ අය නොදකින හොඳ මං එයා තුළ දැක්කා. ඒත් එතකොට මගෙ හිතේ එහෙම දෙයක් තිබ්බෙ නෑ ; ඒ කිව්වෙ විශේෂත්වයක් තිබුණෙ නෑ. කොච්චර නම් ආදර කතා මං අහලා තියෙනවද? කියවලා තියෙනවද? ඇයි ..... පත්තරේට ලියලත් තියෙනවා. ඒත් ඒ කිසිම එකක් ජීවිතේට අනුසාර කරගන්න බැහැ පුංචි. කොච්චර අළුත් දේවල් ඔස්සෙ හිතලා ඒවා ග්‍රහණය කරගන්න පුළුවන් වුණත් මේ ආදරය නම්! මේ දේවල් මෙච්චර ඉක්මණට මට ඇත්තටම අත්විඳින්න වෙයි කියලා හිතුවෙ නෑ කවදාවත්ම. ආදරය කරන්න ඕන. එයා මං දිහා බලද්දි මට ආස හිතෙනවා. වැඩක් නැහැ කියලා දැන දැනත් ! මම මහ මෝඩියෙක්.”

“ඔයා බොරුවට කලබල වෙලා මේඝා. ආදරය කරන එක වරදක්වත්, මෝඩකමක්වත් නෙමෙයිනෙ.”

“නැහැ පුංචි. එයයි, මමයි හිතන්නෙ පරස්පර විරොaධි විදිහට කියලා මට හොඳටම දැනිලා තියෙනවා. මට හිතෙනවා මේ  ඉන්නවා වගේ යාළුවො වගේ හැමදාමත් එයා එක්ක ඉන්න. සමහර විට කාලයක් ගියහම මගෙ හිත හැදෙයි. දුකයි. ඒත් නොගැළපෙන දෙන්නෙක්ගෙ එකතුවක් කවදාවත් හරියයිද? අඬන්න හිතෙනවා කෑ ගහලා. අද මම ඇඬුවා පුංචි එයා ගැන හිතලා. අද ජනවාරි 1 වෙනිදා නිසා පොඩි සංග්‍රහයක් තිබ්බා. එයා වෙනදට වැඩිය හිනා නොවුණත්, වැඩිය කතා නොකලත් අද කතා කරන්න අවස්ථාවක් ලැබිලත් අහක බලපු එකට මගෙ හිත  ගොඩක් රිදුණා. එච්චර බොළඳ දෙයකට මං අඬලා නැහැ කවදාවත්ම. මට මං ගැනම පුදුමයි පුංචි. අද මං අඬනවා දැකලා සඳු ඇහුවා ඔයා විසල්ට ආදරෙයිද කියලා. මම ඔව් කිව්වා. ඒත් මට තාමත් සැකයි. මට ෂුවර් නැහැ මං කැමතිද කියලවත්. ඒත් මගෙ යාළුවො නිතරම කියද්දි විසල් නිසා මං වෙනස් වෙලා කියලා මටත් එහෙම හිතෙනවා. ඇත්තටම ආදරය ඒ වගේද? බලාපොරොත්තු  ගොඩක් තියාගෙන හිටපු මාතෘකාවක් ගැන එහෙම කියන්න වුණ එක ගැන දුකයි. ආදරය ඊට වඩා ලස්සනයි නේද? මම දවසක ඒ ආදරය හොයාගන්නවා. හැමදාමත් හිතුවෙ එහෙමයි. මට කිසි හදිස්සියක් තිබ්බෙ නැහැ. ඒත් ඇයි දැන් විතරක් ....”

“අනේ වස්තුවෙ, එහෙම වෙන්නෙ නැහැ ........ ඔයා වගේ හුරතල් කෙල්ලෙකුට ආදරේ නොකර ඉන්න බැහැ කාටවත්ම.”

“ඒත් පුංචි මේ  කවුරුවත්ම නෙවෙයි, විසල්. එයාට කවදාවත් කාගැනවත් ආදරයක් හිතෙන්නෙ නෑ. විශෙaෂයෙන්ම මං ගැන. ඒ නිසා එයා වෙනුවෙන් කඳුළු හෙලන එකත් අපරාදෙ.”

“ඔය ගැන අමතක කරන්න මේඝා. හිත පටලවගෙන ඔය තරම් දුක් විඳින්න එපා.”

“විසල් වැරදි නෑ පුංචි. එයා මට බලාපොරොත්තු දුන්නෙ නෑනෙ. ඒත් මං වැරදිත් නැහැ. කවුද හරි කවුද වැරදි කියලා මේ කිසිම දෙයක් සාධාරණීකරණය කරන්න මට අවශ්‍ය නැහැ පුංචි. මගේ හිතට ඇතුළු වෙච්ච මොකක්දෝ හැඟීමක් බලෙන්ම වගේ ආදරයකට පෙරලගත්තෙ මම. ඒ නිසා මේකෙන්  ගොඩ එන්න ඕනෙත් මමමයි. තරුෂි හැමවෙලේම කියනවා අපි කැමති කෙනාට නෙමෙයි අපිට කැමති කෙනාටයි කැමති වෙන්න ඕන කියලා. හිතුවෙ නැහැ මමත් දවසක එක පිළිගනීවි කියලා. ඒත් අද ඉඳන් මම එහෙම හිතනවා පුංචි. අඬන්න තව කඳුළුත් නෑ. මං ආයෙ ඒ නිසා අඞන්නෙත් නෑ.”

Social Profiles

Twitter Facebook Google Plus LinkedIn RSS Feed Email Pinterest

කතුවැකිය

E-“ක්ෂිතිජය” - ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

වෙහෙස වන හැල්මේ දුවන ජීවිත ගමනේ විඩාව මදකට හෝ දුරුකර ගනු වස් වරෙක මනෝ මන්දිර තුල සැරිසැරූ මොහොතක මාගේ සිත තුල ඉපදුන චරිත වලට ජීවය පෙවීමට ගත් පුංචි උත්සාහයක ප්‍රතිපලයක් ලෙස “E-“ක්ෂිතිජය” ඔබ ඉදිරියට ගෙන එමි. කියවා බලා ගුණදොස් පිළිවිසින්නට පාඨක ඔබ සැමට ආරාධනා !

- ඉෂාරා -

Copyright © E "ක්ෂිතිජය" | Powered by Blogger
Design by Lizard Themes - Published By Gooyaabi Templates | Blogger Theme by Lasantha - PremiumBloggerTemplates.com

google.com, pub-2907226750246742, DIRECT, f08c47fec0942fa0