සවිය පුවත්පතෙහි තවත් එක් ශාඛාවක් නුගේගොඩදී විවෘත කිරීම වෙනුවෙන් චාම් උත්සවයක් නව කාර්යාලීය භූමිය තුලදී පැවැත්විණී. ඒ සඳහා මුළු ‘සවිය’ ශාඛා ජාලයේම ලොකු, කුඩා හවුල්කරුවෝ සහභාගි වූහ. මගේ හවුල්කරුවන් සමඟ මමත් එහි සිටියෙමි. සඳුනි විමසනා තුරු මා බලාසිටින්නේ කොහේදැයි මමත් නොදැන සිටියෙමි.
“කොයි ලෝකෙද ඉන්නෙ?”
“ම ... මම විසල්ව බැලුවෙ.”
“ආ! බලපංකො තරූ. මේකිගෙ කතාව.”
“ඒක තමයි මාත් බැලුවෙ. මේඝා ..... අසනීපයක් එහෙම නෑ නේද?”
“අද විසල් මා ...ර හැන්සම්.” කෞෂි පැවසුවේ මට පැවසීමට අවශ්‍ය වූ නමුත් පවසා ගැනීමට නොහැකිව සිටි දෙයයි. ඇත්තෙන්ම අද විසල් වෙනදාටත් වඩා කඩවසම්ය!
“උඹටත් මේඝාගෙ පිස්සුව ගහලද?”
“ඇයි තරූ. ඔයාට එයාගෙ ගතියක් පේන්නෙ නැද්ද? සමහර විට වෙනදා වගේ නැතුව නීට් එකට ඇඳලා නිසා වෙන්න ඇති.”
“ඔව් කෞෂි. විසල් අද ටිකක් ලස්සනයි තමයි.” මම ද පැවසුවෙමි.
“අනේ මේ , උඹ ඇන්ඳිලා හිටියට කමක් නැහැ ..... මේ අපිවත් අන්ඳන්න හදන්න එපා. උඹ ඌට ඉස්සර ඉඳන්ම කැමතියිනෙ.”
“සඳූ .... ඔයාලා විසල්ට ආස නෑ. ඒකයි ඔහොම කථා කරන්නෙ. ටිකක් එයා එක්ක හොඳින් කතා කරන්නකො බලන්න වාද විවාද වලට යන්නෙ නැතුව. ඔව් ඉතින්. එයා කොහොමත් ලස්සනයි. හිනාවෙද්දි මාර හැන්සම්. බලාගෙනම ඉන්න හිතෙනවා.”
“මෙයා ඔය කියන තරම් ලස්සනක් මට පේන්නෙ නෑ. ඒත් ගතියක් නම් තියෙනවා.” කෞෂි පැවසූ විට මම නිහඬ වූවෙමි. එනමුදු මගේ දෙනෙත් විසල් පසුපස ලුහුබඳින බව මට දැනුණි. ඒකට මං මොකද කරන්නෙ? විසල් හරිම ලෙන්ගතුයිනෙ ......... මගෙ හිතට!