ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

මායා 2 වන කොටස


ඇය තවත් බිම බලාගත්වනම සිටින්නේය. ඔහු හෝ ඇය හෝ කථාව ආරම්භ කළේ නැත. ඔහු ඇය දෙස බලා සිටියේය. ..... කුමක් පවසන්නද? අවසානයේ ඔහු ඇයට කතා කරන්නෙම් යැයි සිතාගත් මොහොතේම ඇය සිය මුව විවර කළාය.

“මට සමාවෙන්න”

පුදුමයකි ....... ඇය මේ සමාව ඉල්ලන්නේ කිමද?
“ඇයි” විකුම් කුතුහලයෙන් යුක්තව ඇසුවේය.
“ඔයාලා ඇවිත් ගොඩක් වෙලානෙ. ඒත් මං එනකම් බලාගෙන ඉන්න සිද්ධ වුණානෙ. මම යාළුවෙක්ව හම්බ වෙන්න ගියෙ ඉක්මණට එන්න හිතාගෙන. ඒත් ..... ඒත් මට පරක්කු වුණා.”
“ඔව් ඉතින්. හැමෝම මනමාලි එනකම් ආසාවෙන් බලන් හිටියා නම් තමයි. මම හිතුවා ඔයා නෑවිත් මඟ අරීවි කියලා”
“ඇයි?” ඇ‍ගේ නෙතු එකවර ඔහු දෙසටම යොමු විය.
“ඔයා පරක්කු වුණ නිසා ..... මං හිතුවේ මේ යෝජනාවට අකමැති නිසා මේ අවස්ථාව මඟ අරින්න ගෙදරින් ගිහින් කියලා” 
“මම ගියෙ මගෙ යාළුවාව බලන්න.” ඔහුගේ චෝදනාව ඉවතලමින් ඇය පැවසුවාය.
“යාළුවා ඔයාගෙ පෙම්වතාද?” ඇස් රතු වෙලා තියෙන නිසා ඇහුවෙ, කවුරු වුණත් ඒ කෙනා ඔයාව අඬවලා වගේ.”
ඔහු ඇසූ විට ඇය තනිවම සිනාසුණාය.
“මං කියපු දේ හරිද? එහෙනම් ඔයත් මං වගේ දැන් මෙතන ඉන්නෙ නොඉඳ බැරිකමට!” ඔහු එය ඇයටත් වඩා තමාටම පවසාගත්තක් විය. නමුත් එය ඇයගේ සිත පෑරවීය.  
‘නැහැ ..... මම හරිම ආසාවෙන් හිටියෙ අද දවස එනකම්. මගෙ ඇස් රතු වෙලා තියෙන්නෙ අඞලා නෙවෙයි. මම ඊයෙ රෑ තිස්සෙ ඇහැරීගෙන ළමයින්ගෙ ප්‍රශ්න පත්‍ර වගයක් බැලුවා. හරියට නින්දක් නෑ ..... ඒකයි. ඒකට කමක් නෑ. මං දැන් ඔයාගෙ හිත දැනගත්තනෙ. එහෙමනම් ඔයා මාව බලන්න ආවෙ අසරණකමට? ඇයි ඔයා ආදරය කරන කෙල්ලට ගෙදරින් අකමැතිද?” ඇය සිනාසෙන්නට උත්සහ දරමින් ඇසුවාය.
‘ඒ ග(ර්)ල් කවුද කියලා මං වත් තවම දන්නෙ නෑ මායා. අද උදේ වරුවෙ ඔෆිස් එක ඇරිලා ගෙදර ආවෙ වේලාසන ඔයාව බලන්න එන්න තියෙන නිසා. ඒ අතරමගදි එයා පොඩි ළමයි ටිකක් වටකරන් කහ ඉරෙන් පාර මාරුවෙනවා දැක්කා ...... මොකක්දෝ අමුතු බැඳීමකින් මගෙ හිත පිරිලා ගියා. මම ..... අයියෝ ..... සමාවෙන්න. තමන් බලන්න ආපු මනමාලිට මෙහෙම කතාවක් කියපු පළවෙනි කොල්ලා මම වෙන්න ඇති.”
“ඒකට කමක් නැහැ. බොරුවට කතාබහ කරලා ඊට පස්සෙ ගෙදර ගිහින් බොරු හේතු දක්වලා අකමැතියි කියලා නොකියන්න හිතපු ඔයාගෙ ඔය අවංකකමට මම කැමතියි. ඒ ගෑණු ළමයා මට වඩා පැය කිහිපයකින් ඉස්සර වෙලා වාසනාව හොයාගෙන තියෙනවා. මම ඔයාට සුභ පතනවා විකුම් ..... ඔයාගෙ ආදරේ සාර්ථක වෙන්න කියලා”
“තැන්ක් යූ. ඒත් ඒ ආදර කථාව පටන්ගන්නත් කලින්ම ඉවරවෙයිද දන්නෙ නෑ. මායා ..... මම එයාව දැක්කෙ අදනෙ. අඩුම තරමෙ ඔයා ගැන දන්න තරම්වත් මම එයා ගැන දන්නෙ නෑ.”
“ඉතින් හොයාගන්න.” ඇය සිනාසෙමින් පැවසුවාය.
  

Social Profiles

Twitter Facebook Google Plus LinkedIn RSS Feed Email Pinterest

කතුවැකිය

E-“ක්ෂිතිජය” - ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

වෙහෙස වන හැල්මේ දුවන ජීවිත ගමනේ විඩාව මදකට හෝ දුරුකර ගනු වස් වරෙක මනෝ මන්දිර තුල සැරිසැරූ මොහොතක මාගේ සිත තුල ඉපදුන චරිත වලට ජීවය පෙවීමට ගත් පුංචි උත්සාහයක ප්‍රතිපලයක් ලෙස “E-“ක්ෂිතිජය” ඔබ ඉදිරියට ගෙන එමි. කියවා බලා ගුණදොස් පිළිවිසින්නට පාඨක ඔබ සැමට ආරාධනා !

- ඉෂාරා -

Copyright © E "ක්ෂිතිජය" | Powered by Blogger
Design by Lizard Themes - Published By Gooyaabi Templates | Blogger Theme by Lasantha - PremiumBloggerTemplates.com

google.com, pub-2907226750246742, DIRECT, f08c47fec0942fa0